දකුණුලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවා පත්තුවේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රත්නපුර දිස්ත්‍රික් මායිම ආසන්නව පිහිටි අබේසේකර මහා විද්‍යාලය තංගල්ල කලාපයේ අඟුණුකොළපැලැස්ස අධ්‍යාපන කොට්ඨාශයේ කෙළවරම පිහිටි පාසලයි. 1954 වර්ෂය වන විටත් අලි කොටි වලසුන් ගහන කැලෑබද ප්රදේශයක්ව පැවති බවට පාසලේ මුල්ම ලොග් සටහනේ මුල්ම විදුහල්පති ලියනාරච්චි මහතා විසින් සටහන් කර ඇත. එවකට ගම්පති ලෙස කටයුතු කල විදාන පතිරණ රාළහාමි හා දොන් අල්විස් අබේසේකර යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙම පාසල ආරම්භ කිරීමට හැකි වූ බව සඳහන් වේ. 1954 අප්‍රේල් 04 වන දින පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනයකින් අනතුරුව පසුදින සංඝයා වහන්සේලාට දානය පිළිගැන්වීමෙන් පසු 1954 අප්‍රේල් 05 වන දින එවකට ප්‍රදේශය භාර අධ්‍යාපන නිළධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් S P K 4690/24.3.54/ දරණ ලිපියට අනුව නිල වශයෙන්ම පාසල ආරම්භ කල බව සඳහන් වේ. මුල් ගුරුතුමා ලෙස ලියනාරච්චි නැමැති විදුහල්පති තුමා පත් වී තිබේ. පාසල ආරම්භ කරන මොහෙතේ ප්‍රදේශවාසීන්ගේ ජය ඝෝෂා, ප්‍රීති ඝෝෂා මැද ආරම්භ වූ බව ලොග් සටහනේ සටහන් කර ඇත. කටුමැටි ගැසූ පොල් අතු සෙවිලි කල ශාලාවක් ප්‍රදේශවාසී වැඩිහිටි පිරිමි පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සකස්කර මෙසේ ආරම්භ කරන ලද පාසලේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමට සිසුන් 66 ක් පැමිණ ඇත. දෙවන විදුහල්පතිවරයා ලෙස 1955.01.01 දින පී.සමරසේකර මහතා වැඩ භාරගෙන ඇත.
ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් මෙම විද්‍යාලය 1991 පමණ මහා විද්‍යාලයක් බවට පත් කර ඇතත් දුෂ්කර පළාතක විද්‍යාලයක් නිසාත් වරින්වර සිදුවන ගුරු හිඟය නිසාත් අ.පො.ස උසස් පෙළ ආරම්භ කිරීමට නොහැකි වී ඇත. 1993 වන විට මෙම විද්‍යාලයේ සිසුන් 1500 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබා ඇත. සෑම පන්තියක්ම සමාන්තර පන්ති 2 හෝ 3 තිබින. ඒ වන විට ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද ප්‍රසිද්ධියක් ඉසිලූ මෙම පාසල තුළින් රටේ වැඩදායී පුද්ගලයන් රැසක් බිහිකර ඇත. මෙහි සේවය කල හිටපු දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ජයතිස්ස බ්ලොක් මැතිතුමා මෙන්ම පාසල් ගීය නිර්මාණය කල ගත්කරු දෙනගම සිරිවර්ධන මහතාද මෙම විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත. වර්ථමානයේ ජනප්‍රිය නළුවකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ජයන්ත මුතුතන්ත්‍රී මහතාද මෙම විද්‍යාලයේ ආදී සිසුවෙකි. නැසීගිය මහාචාර්ය මැනිදිස් රෝහණධීර මහතාගේ බිරිඳවන පදුමාවතී මහත්මියද මෙම විද්‍යාලයේ සේවය කරමින් සිටියදී විවාහ කරගෙන ඇත.
1995 වර්ෂය පමණ වන විට පාසල අවට තව පාසල් 02 ක් සහ තිබූ පාසල් 02 ක පහසුකම් වැඩි කිරීම නිසා ඒ ඒ පළාත් වලින් මෙම පාසලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩු විය. වෙලන්ගහවෙල, බරවකුඹුක, මුරවැසිහේන, වැටිය, මහවෙල, කච්චිගල්ආර, කලවැල්වල, ආදී ප්‍රදේශ වල සිට පැමිණ ශිෂ්‍ය ප්‍රමාණය ඔවුන්ට ආසන්න පාසල් වලට යොමුවීම නිසා 2006-2010 අතර ශිෂ්‍ය සංඛ්‍යාව 175-200 අතර ප්‍රමාණයකට සීමා විය. නැවත 2014 සිට 2021 දක්වා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව 200 ඉක්මවා ගැනීමට හැකි විය. 2020 වර්ෂයේ අභිනවයෙන් පාසලේ අ.පො.ස උසස් පෙළ කලා විෂය ධාරාව ආරම්භ කිරීමෙන් පසු 1- C වර්ගයේ මහා විද්‍යාලයක් බවට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් උසස් කර ඇත.